අහිමි වීම..

ජීවිතය ගලායන්නේ හිමි අහිමි ඉවුරු ද්විත්වයට මැදිවය.. ඇතැම් වංගු වලදී එය හිමි ඉවුරට බරව ගලා යන අතර තවත් විටෙක එය අහිමි ඉවුරට බරව ගලායයි. හිමිත් නොවන අහිමිත් නොවන ඍජු මග ගත් නිම්න හෝ බෑවුම් මතින්ද විටෙක ගලායයි.

ගෙවීගිය කාලය තුල අහිමිවීම සිතට දරුණු ලෙස පහර දුන් අවස්ථා තුනකින් “අහිමිවීම” කුමක්දැයි ප්‍රභලවම හා ප්‍රථමව කියා දුන්නේ නංගිගේ වියෝවය.

එය ජීවිතයේ එකල පැවති එකම, ලොකුම බලාපොරොත්තුවක් වුනිනම් එය එක් ක්ෂණයකින් සුනු විසුනු කර අහිමි කර දැමූ අකුණු පහරක් විය. කොටින්ම කියතොත් නංගි වෙනුවෙන් ජීවත් වන්නට අධිෂ්ඨානයෙන් උන් මට, ජීවත්වීමට තිබූ එකම හේතුවද නංගි සමගම අහිමිව යන්නට විය.

කෙසේවෙතත් මරණය ලොව කුමන වයසක, කුමන තරාතිරමක, කුමන වර්ගයේ වූවෙකුවුවද සියල්ලටම පොදුවූ සිදුවන මොහොත මෙයයැයි මෙසේ යැයි කිව නොහැකි නියතයක් බව අසා සිටි දේ අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරමින් යලි නොඑන්නම නංගියා මට අහිමි විය.

ඉතිරි අවස්ථා දෙකම සිතට චණ්ඩ සුළි කුණාටු ලෙසින් පහර දුන්නේ මට මාවද අහිමි කරමින් බව කිවහොත් නිවැරදිය. එය එතරම් දරුණු වන්නට ඇත්තේ මා විසින්ම ගොඩනැගූ “විශ්වාසය” නම් වූ පවුර, පැතූ ලෙස රක්ෂා නොවී කඩා බිඳී ගිය නිසාවෙනි. එය මා ගොඩනැගූ ශක්තියේ තරමටම, පෙරලා මා මතටම ඇද වැටුනු විට සිතට ඇතිකල තුවාල කැලැල් සත්තකින්ම තවමත් කිසිවෙකුට දෘෂ්‍ය නොවන ලෙස ශේෂව ඇත.

එයට වගකිවයුතු මමම මිස අන් කිසිවකුත් නොවන්නේ, විශ්වාසය යන්නෙහි වගකීම ඇත්තේ ඇතිකරවන්නා සතුව නොව ඇතිකරගන්නා කෙනා සතුවම බව මා ජීවිතයෙන් මේවන විට උගෙන ඇති නිසාවෙනි.

ජීවිතය අප එකිනෙකාට අනන්‍යවූ ප්‍රෙහෙලිකාවකි. ඒවා ස්වාධීන වන තරමට සංකීර්ණබව අවම වන නමුත් අප ජීවිත කාලය පුරාවට කරන්නේ තව තවත් ප්‍රෙහෙලිකා ස්වකීය ප්‍රෙහෙලිකාවට ඈඳා ගැනීම නිසා හිමි වීම් වලට වඩා අහිමි වීම් වලට ජීවිතය සංවේදී කරවන්නට අප පෙළඹෙයි.

විශ්වාසය, ගෞරවය, ආදරණීය බව, හිතෛෂී බව වැනි මානව හැගීම් ජීවිතයට හිමි, අහිමි වන්නේ දෛවය විසින් ලියූ කතාවට අනුකූලව වන අතර අප එය අපේක්ෂා කරන මට්ටම හා එය උරුම වන ප්‍රමාණය එකිනෙකට ස්වාධීන කාරණා දෙකක් බව සිතමි.

එහෙයින් ඒවා අහිමිවීම හමුවේ සිත් පීඩා ඇතිකරගැනීමට තරම් අප බොලඳ නොවියයුතු බව දැන් ප්‍රත්‍යක්ෂ කර ඇත්තෙමි.

ගිමන් හරින සිතුවිලි

ජීවිත යාත්‍රාව දිනෙන් දින ඉදිරියට ඇදෙත්ම මිනිසුන් ගැන මෙතරම් පිළිකුලක් ඇතිවේයැයි නොසිතුවෙමි. තේරුමක් ඇතිවන්නට පටන්ගත් දා සිට ජීවිතය සුන්දරව, ප්‍රියත්වයෙන් දැනෙනවාට වඩා ප්‍රතිවිරුද්ධව දැනුනු අවස්ථා එමටය. දැන් ඒ සියල්ලටත් එහා ගිය අප්‍රසන්න බවක් එදිනෙදා ගැටෙනා බොහෝ දෙනෙක් ගැන දැනෙයි. උදාවන ගෙවෙන දවසක් ගානේ එසේ අප්‍රසන්න අය හා ඔව්න්ගේ චර්යා දකිමින් ගෙවෙන ජීවිතය දැන් දැන් මගේ ක්‍රියාකලාපයන්, සිතුම් පැතුම් හා සොභාවයද මගේ පාලනයට නතුකරගත නොහැකි මට්ටමට පත්කර තිබීම ගැන මට ඇත්තේ මා ගැනම කළකිරීමකි. ඇසුරුකරන්නට කියා ඉන්නා වැඩි දෙනෙක් හිසේ සිට පාදාන්තය දක්වාම බොරුව, කුහකත්වය, ආටෝපය හා මුග්ධ වූ හිස් බවෙන්ම ජීවිතය රඟන හැටි බලා හිඳිනු මිස කරන්නට අන් කවරක් හෝ නොමැති වීම මෙතෙකැයි කියා කීමට නොහැකි අසරණ බවක් සිතට දනවන්නකි. එවන් වෙටෙක, මීටත් වඩා අසරණව ජීවිතයේ අමිහිරි බව විඳින මිනිසුන් මතක්කර සිතට පැනඩෝල් පෙත්තක් ගිල්ලවා වේදනාව සමනය කරවන්නට පුහුණු වෙමින් සිටිමි. සර්ව සම්පූර්ණ සුඛිත මුදිත ජීවිත මෙලොව ඇත්දැයි හරි හැටි නොදන්නා නමුත් ස්වකීය ජීවිතය මෙන්ම දන්නා කියන ජීවිත සියල්ලක්ම කුමන හෝ අයුරකින් ව්‍යාකූලත්වයට පත් වී නැතහොත් පත්කරගෙන සිටින බව දනිමි. ඒවායේ අග මුල විසඳීමට නොතේරෙන මුත් අඩුම තරමේ එකිනෙකා තමන්ගේ පාඩුවේ ස්වකීය අභිවෘද්ධිය උදෙසා ජීවත්වීමේ අභිලාෂයෙන් අවංක සිතින් යුතු වුනිනම් මෙපමණ පිලිකුලක් මා වටා ඉන්නවුන් ගැන ඇතිනොවන්නට ඉඩ තිබුනි. කෙසේ වෙතත් දෛවය විසින් කතාව ලියා ඇත්තේ එවන් පිරිසක් ඇතුළත් කර නොමැතිවය. දන්නා කියන ජීවිත යතාර්ථයන් ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමේ අසීරු වෑයමක එදා මෙන්ම අදත් හුදෙකලාව මම මා සමගම සටන් කරමි. ඉන් බොහෝ වෙහෙස දැනුනු අවස්ථා ඇත. අදටත් ඒ වෙහෙස එලෙසම දැනෙයි. දෛවය ලියූ කතාව තව කොතෙක් දිගුදැයි නොදනිමි. එනමුදු යාත්‍රා කරමි. මා නිසා උපන් පණ මතු දිනෙක ශක්තිමත් හොඳ මිනිසෙකු ලෙස දකින ප්‍රාර්ථනාව සිතේ පුරවාගෙන.

මා ලද කිරි සිනා…

කිරි සිනා නැගෙන විට

හුරතලෙන් මුව පුරා

මහමෙරක් ආදරෙන්

පිරී යයි හද පුරා

උන්නු කල දුටු හීන

දස මසක් කුස දරා

හැබැහින්ම දකිමි අද

නෙතේ කඳුලැලි ඉරා

බලා සැනසෙමි වැඩෙන අත් පා

කිරි සිනා මැද හුරතලෙන්

උදාකරගමි හැම දිනක් දැන්

නුඹට කැපකර නුඹෙ නමින්

වැලඳ ගන්නම සිතෙයි තදකර

මගේ වස්තුවනේ ඉතින්

චන්ඩි වැඩනම් වැඩි උනෝතින්

බනින්නද චුට්ටක් සැරෙන්

මගේ තනිකම් මකා දිවියම

අරුත්කරවන සුදු පුතේ

මහගොඩක් නැත එකම පැතුමක්

නුඹ නමින් මට අද ඇතේ

දිවියෙ දුක සැප සමසිතින් ගෙන

දිරිය පුරවාගෙන හිතේ

ගුණදමින් පිරි හොඳම මිනිසා

වීම දවසක නුඹෙ අතේ

ගෙවෙන විටදී දවස් ගනනින්

මගෙ පුතුට අම්මා ලෙසින්

දැනේ මාහට මගේ අම්මා

පෙරට වැඩි වූ සෙනෙහසින්

සිත් දරා ඈ වින්ඳ දුක් කඳ

නෙත තෙමූවත් කඳුලකින්

මවක දිවි අද අත්විඳින්නෙමි

දරා හැම දේ සම සිතින්

යළි පැමිණියෙමි…

ගනන් බැලූවිට වසර 6ක්.. ඔව් වසර 6කින් පමණ යලිත් සිතුවිලි චාරිකාවකට  අක්ෂරමය නවාතැන් දුන් සිතුවිලි තොටුපොළට ගොඩවුනෙමි..

ජීවිත යාත්‍රාව වසර හයක කාලයක් යාත්‍රා කර නැවතත් සිතුවිලි තොටුපොළට සේන්දු වූ විට ඒ හා පැවසීමට ඇති දෑ එමටය..

කලක් හුදෙකලා ජීවිත යාත්‍රාවට හොඳම මිතුරෙක්ව සිතුවිලි බෙදාගත් මේ qqතොටුපොළ වෙත යලි ඇදෙන්නට සිතුනේ අක්ෂර ගලපා මෙය යැයි කිව නොහැකි සිතුවිලි සමුදායක පෙරැත්ත අනුවය..

ඉතින් ආයුබෝවන් දයාබර සිතුවිලි තොටුපොළ… සතුටක් දැනේ කලකින් සේන්දු වූකල..

උපන් දිනය…!

ඇතැමෙක් ප්‍රීති වෙති
ඇතැමෙක් දුක් වෙති
ඇතැමෙක්ට මතක ඇති
ඇතැමෙක්ට මතක නැති
ඇතැමෙක්ට විශේෂ ඇති
ඇතැමෙක්ට ගානත් නැති

තවත් එක දවසක්

උපන් දිනය! උපන් දිනය!! උපන් දිනය……!!!

මතක වරුසා

මතක වරුසා
සිහිල් බිඳු ලෙස
වියළි හද මත වැටේනම්…
වියළි ඒ හද
වැහි පොදක් ලෙස
සිසිල් වීලා නිවේනම්….
ඇනී රිදවන
හීන කැබිලිති
පාව ඇතට ගලයි නම්…
මතක වරුසා
රිදුම් දෙනමුත්
සිහින තවරා තෙමෙන්නම්…